කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්

කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්

by Staff writer 15-11-2018 | 11:36 AM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර තිබේ. එම ලිපිය මගින් කථානායකවරයා දැනුම් දෙන්නේ, නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව ය. ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා පෙන්වා දෙයි. පවතින අර්බුදය හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බව ද සිය ලිපිය මගින් කථානායකවරයා පවසයි. කථානායකවරයා සිය ලිපිය මගින් ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ය. ජනාධිපතිවරයා ඊයේ කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයින්ගේ උපදෙස් ඇතිව පිළිතුරු ලිපියක් එවීමට අපේක්ෂා කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සිය ලිපිය මගින් දැනුම් දෙයි. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ, අද උදෑසන 8.30ට ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව තිබුණ ද ලිපියේ සඳහන් ආකල්පය නිරීක්ෂණය කරන විට එවන් හමුවීමක් ඵල රහිත බව පක්ෂ නායකයින්ගේ අදහස වූ බව ය.