විශ්වාසභංගයේ පිටපතක් ජනපතිට

විශ්වාසභංගයේ පිටපතක් ජනපතිට යවන බව කථානායක මාධ්‍ය ඒකකය කියයි

by Sagarika Chathumali 14-11-2018 | 4:18 PM
COLOMBO (News 1st) : කථානායක කරූ ජයසුරිය මහතා විසින් විශ්වාසභංග යෝජනාවේ පිටපතක් හා ඊට අදාළ සභාවේ තීරණය ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබීමට නියමිත බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රිවරුන් 122 කුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ඒ සමග ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. කථානායකවරයා විසින් මෙම ලේඛන ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කථානායක මාධ්‍ය ඒකකය පවසන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වූ බවයි. කථානායකවරයා විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ සන්ධාන මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු කරගෙන යාමට යෝජනාවක් ඉදිරිපත් කළ බව ද කථානායක මාධ්‍ය ඒකකය පැවසී ය. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ අද දිනයේම සභාවේ මතය විමසිය යුතු බව ඔවුන් යෝජනා කර තිබේ. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, එම අවස්ථාවේ විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකවරයා විසින් ඡන්ද විමසීමට නියෝග කළ බවයි. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව බහුතර ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කථානායකවරයා සභාවට නිවේදනය කර තිබේ. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙට පෙරවරු 10 දක්වා සභාව කල් තැබිය යුතු බවට කරන ලද යෝජනාවට සභාවේ අනුමැතිය හිමි වු බව ද කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.