වසර 25කින් පසු අඟහරු මත පා තැබිය හැකි බවට අනාවැකි

වසර 25කින් පසු අඟහරු මත මිනිසුන්ට පා තැබිය හැකි බවට අනාවැකි

by Staff writer 14-11-2018 | 7:10 AM
(News 1st) - වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදුසු පරිසරයක් අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතු බව ය. විශ්වයේ මාරාන්තික කිරණ, ඇස් අන්ධ භාවයට පත් වීමේ අවදානම, අස්ථි දිරා යාම මෙලෙස ගගනගාමීන් අඟහරු මත පා තැබීමට පෙර ජය ගත යුතු අභියෝග අතරට අයත් ය. මෙම ගැටලු විසඳීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තමන් සතු බව ද නාසා ආයතනයේ හිටපු ගගනගාමී ටොම් ජෝන්ස් සඳහන් කළේ ය. වත්මන් රොකට් තාක්ෂණය මත අඟහරු වෙත ළඟා වීමට ගගනගාමියෙකුට ගත වන කාලය මාස 9කි. මේ වන විට නාසා ආයතනය අඟහරු වෙත ඉන්සයිට් නමැති රොබෝ අභ්‍යවකාශ යානයක් යවා ඇති අතර එය ලබන 26 වන දින අඟහරු වෙත ළඟා වීමට නියමිත ය. මෙහි අරමුණ අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව මිනිසාගේ දැනුම පුළුල් කිරීම ය. 2020 වසරේදී නාසා ආයතනය රෝවර් යානයක් අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිත අතර එහි අරමුණ වන්නේ, අඟහරු ග්‍රහයා මත ජීවීන්ගේ පැවැත්මට සුදුසු පරිසරයක් ඇතිදැයි සොයා බැලීම ය. මේ අතර අයර්ලන්ත වෙරළට ඉහළ අහසෙන් හඳුනා නොගත් පියාඹන වස්තූන් දුටු බව ගුවන් නියමුවන් කිහිප දෙනෙක් වාර්තා කළහ. අයර්ලන්ත ගුවන් බලධාරීන් සඳහන් කළේ, එළිය විහිදුවමින් ඉතා වේගයෙන් චලනය වූ බවට වාර්තා වූ මෙම අද්භූත යානා පිළිබඳ විමර්ශන අරඹා ඇති බව ය. එම අවස්ථාවේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කිසිදු හමුදා අභ්‍යාසයක් නොපැවැත්වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කළේ ය. මෙය පිටසක්වල ජීවීන්ගේ ආගමනයක් ද නැතහොත් කිසියම් කුමන්ත්‍රණයක්දැයි සමාජ වෙබ් අඩවිවල කතාබහට ලක් විය.