පාර්ලිමේන්තුව කැඳවීම අද උදෑසන 10.00ට

පාර්ලිමේන්තුව කැඳවීම අද උදෑසන 10.00ට

by Staff writer 14-11-2018 | 6:46 AM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද රැස් කිරීමට කථානායකවරයා දැනුම් දෙන බව ය. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, දින ගණනාවක් තිස්සෙ පැවති දේශපාලන අස්ථාවර භාවය අවසන් කරමින් ජාතික වැදගත්කම සලකා ඊට අප්‍රමාදව සිය අවධානය යොමු කරමින් සුදුසු තීරණයක් ලබා දීමෙන් අපගේ උත්තරීතර අධිකණය කළ කැප කිරීම පිළිබඳව සතුටු වීමේ අවස්ථාව ජනතාවට හිමිව ඇති බව ය. දින කිහිපය පුරා අත්දුඩු සිදුවීම් පිළිබඳව නොසැලී ජනතා නියෝජිතයින් කෙරෙහි මා තබා ඇති විශ්වාසය පිළිබඳව සියලු ජන කොටස් ද සුබවාදී අපේක්ෂාවන් තබනු ඇතැයි විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් ය. සියලු ජන කොටස් මෙන්ම වගකීම් දරණ පාර්ශවයන් සාමකාමී හා ගෞරවණීය ආකාරයෙන් කටයුතු කර ජනතා ප්‍රකෝප කිරීම් හා ජන ජීවිතය අස්ථාවර කිරීම්වලින් වැළකී කටයුතු කළ යුතු බව අවධාරණය කරන අතර ලක්වැසි සියලු ජන කොටස් අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ තීරණ මත පිහිටා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.