කථානායකගේ මතය කුමක් ද?

කථානායකගේ මතය කුමක් ද?

by Staff writer 14-11-2018 | 1:08 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකවරයා දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කළේ ය. ඒ පිළිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලැබුවේ ය. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව සභාවේ මතය අද දිනම විමසිය යුතු බවට ඔවුහු යෝජනා කළහ. එම අවස්ථාවේදී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා ඡන්ද විමසීමට නියෝග කළේ ය. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කථානායකවරයා සභාව වෙත නිවේදනය කළේ ය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙට පෙ.ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බවට යෝජනා කළේ ය. ඒ අනුව එම යෝජනාවට අනුමැතිය හිමි විය. මේ අතර අද දින භාර දෙන ලද විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද, ජනාධිපතිවරයා පසුගියදා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට කථානායකවරයා පියවර ගනු ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.