හිටපු මැති,මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩුකිරීමට නියෝග නෑ

හිටපු මැති, මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කිරීමට තවමත් නියෝග නැහැ - පොලීසිය

by Staff writer 13-11-2018 | 7:27 AM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරන්ගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නියෝග ලැබී නැතැයි, පොලීසිය පවසයි. ඇමති ආරක්ෂාව භාර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කෙළේ, පොලිස්පති නියෝගය ලද විගස හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින සියලු පොලිස් නිලධාරීන් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි. මේ වන විට හිටපු අමාත්‍යවරුන් සඳහා පොලිස් ඇමති ආරක්ෂක නිලධාරීන් 7 දෙනෙකු බැගින් ලබා දී ඇති අතර, හිටපු නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ද, පොලිස් ඇමති ආරක්ෂක නිලධාරීන් 7 දෙනෙකු බැගින් යොදවා ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය. ඇමති ආරක්ෂාව භාර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් ආරක්ෂාවට යොදවා ඇති බවයි. පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ වත්මන් කැබිනට් අමාත්‍යවරුන්ගේ හැර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් විය යුතු වේ. මේ අතර හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී ඇති සියලු රජයේ වාහන සහ නිල නිවාස වහා ම භාර දිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින්, ඒ ඒ අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත ලිඛිතව දැනුම් දිය යුතු බවයි. ඒ අනුව, තවදුරටත් අමාත්‍යාංශ සතු රජයේ වාහන සහ නිල නිවාස වහා ම ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත භාර දිය යුතුව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේ රජයේ වාහන සහ නිල නිවාස වහා ම භාර නොදෙන හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසුවේ, හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා වාහන 8 බැගින් නිකුත් කර ඇති බවයි.