දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි

මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි

by Staff writer 13-11-2018 | 10:38 PM
(News 1st) - මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියකට අදාළව ය. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට දුෂණ චෝදනා ගොනු කර ඇති බව ය. අදාළ චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේට අද සිට දින 14 ක් ලබා දී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි උල්ලංඝනය කිරීමේ කරුණු තුනක් යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ. 2.1.1 වගන්තිය - අන්තර්ජාතික ක්‍රිකට් තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය, ක්‍රියාවකින් හෝ වෙනත් අංගයක් අනිසි ලෙස බලපෑම් කිරීම හෝ අනුගත කිරීම හෝ ඊට උත්සාහ දැරීම. 2.1.4 වන වගන්තිය - ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින්ගෙන් සෘජු ලෙස ඉල්ලා සිටීම, පෙළඹවීම හෝ දිරිගැන්වීම. 2.4.4 වගන්තිය - නීති සංග්‍රහය යටතේ දූෂිත ක්‍රියාවන්හි නිරත වීමට ලැබුණු කවර හෝ ප්‍රවේශයන් හෝ ඇරයුම් පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය වෙත නිරාවරණය කිරීමට අසමත් වීම.