ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්

by Staff writer 13-11-2018 | 6:33 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 12ක් සලකා බැලීමෙන් පසුව ය. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදී ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා මෙන්ම එම පෙත්සම්වලට අතරමැදි පාර්ශව ලෙස ඉදිරිපත් වූ මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව අදාළ නියෝගය නිකුත් කළේ ය. අදාළ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය දෙසැම්බර් මස 04 , 05 හා 06 යන දිනවල පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා නීතිඥවරුන් ඇතුළු පාර්ශව 12 ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළේ ය. එම පෙත්සම් සලකා බැලීම ඊයේ පස්වරු 2.00ට අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ විය. එම සියලු පෙත්සම් විභාගය ඊයේ පස්වරු 5.30ට පමණ අවසන් කළේ ය. අද පෙත්සම් විභාගය යළි ආරම්භ කෙරුණේ, පෙරවරු 10.05ට ය. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් කරුණු ඉදිරිපත් කළේ ය. ඔහු අවධාරණය කරමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33/2 අනු ව්‍යවස්ථාව හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 70/5 අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු බැවින් ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය නීත්‍යානුකූල ක්‍රියාදාමයක් බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33/2 අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා විසින් නිකුත් කළ නියෝගයක් අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ නීතිමය අයිතියක් එහිදී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනයට සහය දක්වමින් අතරමැදි පාර්ශවයන් ලෙස සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පාර්ශවකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ ද නීතිපතිවරයා කළ කරුණු දැක්වීමට සහය පළ කරමින් කරුණු දැක්වූහ. පෙත්සම් සම්බන්ධ විභාගය අද පස්වරු 3.30 ට අවසන් කළ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධ නියෝගය පස්වරු 6.00ට පමණ ලබා දුන්නේ ය.