නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු කියයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වී නැහැ - නීතිපති

by Staff writer 13-11-2018 | 11:54 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ. ඒ, අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සිදුකරමිනි. නීතිපතිවරයා තම කරුණු දැක්වීම ආරම්භ කර ඇත්තේ, පෙරවරු 10 ට පමණ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත්වු අතර හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලිණ. එහිදී ඔහු වෙනුවෙන් කරුණු දැක්වුයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතායි. නීතිඥවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවයි. එසේ නොකොට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ජනතා පරිමාධිපත්‍යට එල්ල කළ අතුල් පහරක් බවයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 19 වන සංශෝධනයේ 70 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අහිමි කර ඇති බවත් ඒ බව නොසලකා කටයුතු කිරීම පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත සමාජය ම අරාජික කිරිමක් බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. දෙවැනි පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීය. ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ අරුණ ලක්සිරි , නීතිඥ ලාල් විජේනායක, නීතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනු කර තිබේ. ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතාද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය. මීට අමතරව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා අතරමැදි පාර්ශ්වයක් ලෙස පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සියලු පෙත්සම් විභාග කෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි.