පෑලියගොඩ හුවමාරුව-කැලණි පාලම අතර කොටසක්  වැසේ

පෑලියගොඩ අන්තර් හුවමාරුව-කැලණි පාලම අතර කොටසක් තාවකාලිකව වැසේ

by Staff writer 12-11-2018 | 7:10 AM
COLOMBO (News 1st) : කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැලණි පාලම අතර කොටසක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. ඒ යෝජිත නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙනි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ නුවර මාර්ගයේ, ඒ එක කොටස සහ කොළඹ පුත්තලම මාර්ගයේ ඒ තුන කොටසේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ගමන් ගන්නා වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කර තිබේ. පොලීසිය පැවසුවේ කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගී මාර්ගය හරහා පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ නුවර මාර්ගයට සහ කොළඹ පුත්තලම මාර්ගයට පිටවීම ද තාවකාලිකව නතරකර ඇති බවයි. කෙසේ වෙතත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා කිසිදු අවහිරයක් නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.