පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව පෙත්සම් 11ක්

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

by Staff writer 12-11-2018 | 9:55 AM
COLOMBO (News 1st) : පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ථාධිකරණයට මේ වන විට පෙත්සම් 11 ක් ඉදිරිපත් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති කබිර් හෂිම් පෙත්සමක් ගොනු කර තිබේ. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකිම් මහතා විසින් ද පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් ගොනු කර ඇති බවයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දින් මහතා විසින් ද පෙත්සමක් ගොනු කරනු ලැබ ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා එක් පෙත්සමක් ‍ගොනු කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තවත් පෙත්සමක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙත්සමක් ගොනු කර තිබේ. මීට අමතරව ලාල් විජේනායක, නීතීඥ අනුර ලක්සිරි, ජී.සී.ටී පෙරේරා, ආර් .ඒ .එස්. බී. පෙරේරා සහ ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ද තවත් පෙත්සම් 5ක් පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රෙෂ්ථාධිකරණය වෙත ගොනු කර ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය.