ජනපති මහවැලි අධිකාරියේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 12-11-2018 | 5:53 PM

COLOMBO (News 1st) - ජනාධිපතිතුමා අද මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අද පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලුවේය. මේ අතර ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවට එක් විණි. එහිදි කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙති. පවතින වැසි සමයත් සමග එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි යනු ඇතැයි ද ඔවුන් එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විදුලිබල, සංචාරක කර්මාන්තය වැනි අතුරු කර්මාන්ත ද මොරගහකන්ද – කළු ගඟ වාරි ව්‍යාපෘතිය යටතේ මේ වන විට ආරම්භ වී ඇති බව මෙහිදී අනාවරණ විණි. ලග්ගල නව නගරයේ සංවර්ධන ක්‍රියාදාමයන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පාරිසරික කාර්මික උද්‍යානය, සුවිශේෂ පරිසර කලාප ව්‍යාපෘතිය සහ වගා ව්‍යාපෘතින්හි ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. මහවැලි කලාපවල ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළ අතර කඩිනමින් එම කටයුතු අවසන් කිරීමේ අවශ්‍යතාව ද නිලධාරීන්ට පෙන්වා දී තිබේ. අනතුරුව ජනාධිපතිතුමා කොළඹ, ගාලූ පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරත විය. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප‍්‍රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදයක සඳහන් විය. ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පිළිගැනීමේ ස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු ද නිරීක්ෂණය කළේ ය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අමුත්තන් රැඳී සිටින ස්ථානයේ පහසුකම් ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.