පළමු ලෝක යුද්ධයට වසර 100ක් සපිරේ

විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධයට වසර 100ක් සපිරේ

by Staff writer 11-11-2018 | 7:31 AM
(News 1st) - විශ්වය රුධිරයෙන් තෙත් කළ පළමු ලෝක යුද්ධය සමාප්ත වී අදට වසර 100ක් සපිරේ. ඒ නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උළෙල අද ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන්නේ, ලෝක නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙනි. ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ඇතුළු ලෝක නායකයින් 20කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිත ය. ප්‍රබල ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සැමරුමට සහභාගී නොවන බව දැනුම් දී ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවක් ලෙස දක්වමිනි. 3 වැනි ලෝක යුද්ධයක් ඇති නොවීමට සියලු ලෝකවාසීන් කැප විය යුතු බව සැමරුම සඳහා ප්‍රංශයට පැමිණි ලෝක නායකයෝ අවධාරණය කළහ. ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ, පළමු ලෝක යුද්ධයක් ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳව ප්‍රතිවිපරමක් කර, එවැන්නක් යළි ඇති නොවීමට සියලු ලෝකවාසීන් කැප විය යුතු බව ය. ලෝකය සාමයේ නිජබිමක් කිරීමට අවශ්‍ය සියලු දේ වෙනුවෙන් කැප වන බව ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළා ය. ප්‍රංශය, ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පළමු ලෝක යුද්ධයේ සමාප්තිය සමරද්දී, බ්‍රිතාන්‍ය ඒ වෙනුවෙන් සැමරුම් ප්‍රසංගයක් සංවිධාන කර තිබිණි. දෙවැනි එළිසබෙත් රැජිණ ඇතුළු බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම ප්‍රසංගය පැවැත්වුණේ, ලන්ඩන් නුවර රාජකීය ඇල්බට් ශාලාවේදී ය. යුද සෙබළුන් සහ සිවිල් වැසියන් මිලියන 15 ඉක්මවූ සංඛ්‍යාවකට දිවි අහිමි කළ පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය තබන්නේ සර්බියාව සහ ඔස්ට්‍රියාවයි. මෙම රටවලට මිත්‍ර පාර්ශවික රටවල් යුද්ධයේ පාර්ශවකරුවන් වීමත් සමග ලෝකවාසීන්ගේ හදවත් භීතියේ සෙවනැලිවලින් වැසී ගියේ ය. 1914 ජුලි 28 වන දා ඇරඹි පළමු ලෝක යුද්ධයේදී සර්බියාවේ සහයට ප්‍රංශය සහ රුසියාව එක්වෙද්දී ඔස්ට්‍රියාවේ සහයට ජර්මනිය එක් විය. පළමු ලෝක මහා සංග්‍රාමය සියලු රටවලට සෘජුව මෙන්ම වක්‍රව බලපෑම් කරන තත්ත්වයකට පත් වූයේ, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊට මැදිහත් වීමත් සමග ය. වසර 4කුත් මාස 3ක් අඛණ්ඩව යුද වැදීමෙන් අනතුරුව පළමු ලෝක යුද්ධය නිමාවට පත් වූයේ, ලෝකයට නව යුධෝපකරණ මෙන්ම යුද උපක්‍රම රැසක් ද තිළිණ කරමිනි. ක්ලෝරීන් යොදා ගනිමින් ලෝකයට පළමු වරට විෂ රසායනික ප්‍රහාර හඳුන්වා දීම සිදු වන්නේ ද පළමු ලෝක යුද්ධයේදී ය. ලොව මහා බලවතා වීමට අවශ්‍ය ශක්තිය අමෙරිකාවට ලැබීම, පැරණි නගරවල නම් වෙනස් වීම, රුසියාවේ ඒකාධිපති සාර්වරයාට එරෙහිව බොල්ෂෙවික් විප්ලවය සිදු වීම, යුරෝපයේ පැවති ඒකාධිපති රාජ්‍ය බිඳ වැටී ජාතිකත්වය මත පදනම් වූ නව රාජ්‍ය බිහි වීම සහ ලෝක සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවා ගැනීම පළමු ලෝක යුද්ධය අපට ඉතිරි කළ දායාද වේ.