අපරාධ රැසකට සම්බන්ධ 3 දෙනෙක් කටුබැද්දේදී කොටුවෙති

අපරාධ රැසකට සම්බන්ධ 3 දෙනෙකු කටුබැද්දේදී අත්අඩංගුවට

by Staff writer 11-11-2018 | 9:00 AM
COLOMBO (News 1st) - අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් මහගම නවතා තිබෙන ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සොරකම් කර ඒවා උපයෝගී කර ගනිමින් රන් මාල කොල්ල කෑම් සහ දේපළ සොරා ගැනීම් සිදු කර ඇති බව ය. ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, පානදුර, කළුතර සහ අලුත්ගම ප්‍රදේශවල කොල්ල කෑම් සිදු කර ඇති බව ඔවුන්ගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. කොල්ල කන ලද ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනිණි. සැකකරුවන් 24, 26 සහ 28 හැවිරිදි ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් 3 දෙනෙකි. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.