මහ මැතිවරණය ජනවාරි 5

ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය ජනවාරි 5

by Staff writer 10-11-2018 | 6:33 AM
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබී ය. ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි. එහි දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ දෙක - ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වන දා කැඳවීමට ද ජනාධිපතිවරයා නියම කර තිබේ. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 5 වන දින සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වන දා දහවල් 12.00 දක්වා සිදු කිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා නියම කර තිබේ. ජනාධිපතිතුමා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ, රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ය.