මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය නිසා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

by Staff writer 09-11-2018 | 7:15 AM

COLOMBO (News 1st) - බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් දී තිබේ.

ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ භාවිතයේදී ද වඩාත් විමසිලිමත් විය යුතු බවට සියලු ධීවරයින්ට දැනුම් දී ඇති බවයි. ගත වූ මාස කිහිපය තුළ සිදු වූ අනපේක්ෂිත සිදුවීම් ‍හේතුවෙන් ධීවරයින් 9 දෙනෙකු මියගොස් 20 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසා තිබේ. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ යාත්‍රා 77 කට අධික සංඛ්‍යාවක් කාර්මික දෝෂවලටද ලක් ව ඇති බවයි. ධීවර යාත්‍රා තුනක් පෙරළීමෙන් අනතුරු සිදු ව ඇතැයි ද ඔහු පැවසුවේ ය. ගිනි ගැනීම්වලින් ද එක් යාත්‍රාවක් විනාශ වී තිබේ.