පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

by Staff writer 09-11-2018 | 12:00 PM

COLOMBO (News 1st) - නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව නව රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

නව අමාත්‍යවරුන්ගේ විෂයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනයට අනූව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය බට බලකාය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන 17 ක් ආරක්ෂක අමාත්‍යංශයට අයත් ය. ආරක්ෂක අමාතය ධූරය දරන්නේ, ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතායි. ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපයෝගීතා කොමිසන් සභාවට ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ. පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා යටතට පත් කර තිබූ අතර රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේය. මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යටතට පත් කර ඇත.