දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්..!

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්

by Staff writer 09-11-2018 | 7:01 AM

COLOMBO (News 1st) - පවතින අධික වැසි තත්ත්වයත් සමග කළු, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, ගංඟා දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවය. පවතින තද වැසි තත්ත්වයත් සමග රන්ටැඹේ, රන්දෙනිගල ඇතුලු ජලාශ රැසක් තවදුරටත් වාන් මට්ටමේ පවති. අද රාත්‍රි 9.00 දක්වා දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට එම නිවේදන නිකුත් කර ඇති බවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට සහ අඹන්ගඟකෝරලේ ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකවේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, ඉංගිරිය සහ අගලවත්ත යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ අයගම ප්‍රදේශ සඳහාත් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන්, උතුරු පළාතේ පවුල් 407 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයි ආපදා කලමනාකරණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ඉංජිනේරු සිසිර කුමාර මහතා සඳහන් කළේ, කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පවුල් 228 ක පුද්ගලයින් 800 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන දෙකක රඳවා ඇති බවය. මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 179 කට ද ඉන් බලපෑම් එල්ල වී ඇත. ඒ අනූව පුද්ගලයින් 500 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි සිසිර කුමාර මහතා සඳහන් කළේ ය.