අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි

වත්මන් අර්බුදය ගැන අධිකරණය හමුවට යාම රනිල් වික්‍රමසිංහ බැහැර කරයි

by Staff writer 08-11-2018 | 7:58 PM
(News 1st) - වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බැහැර කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේ ය. ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ය. එම නිසා අධිකරණය හමුවට ගිය ද මෙම ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇතැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේ සඳහන් ය. පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සමග තමන්ට වැඩ කළ හැකි ද යන ප්‍රශ්නය ජනාධිපතිතුමාට යොමු කළ යුතු බව ය. පාර්ලිමේන්තුව නැවත කැඳවීම සුබවාදී දෙයක් බව පවසන වික්‍රමසිංහ මහතා තමන්ට බහුතරය පෙන්විය හැකි බවට විශ්වාස යැයි සඳහන් කර තිබේ.