අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ

අමෙරිකානු නීතිපති ධූරයෙන් පහ කෙරේ

by Staff writer 08-11-2018 | 7:00 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ.

ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නොසන්සුන් වූ ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කර තිබේ. මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප්, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පක්ෂය සමග එක් ව කටයුතු කිරීමට කැමැත්ත පළ කළේ ය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය බලය හිමිකරගත් ඩිමොක්‍රැටික් පක්ෂය තර්ජනාත්මකව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, තම පරිපාලනය පිළිබඳ විමර්ශන පැවැත්වීමට ප්‍රයත්න දැරුවහොත් ඊට එරෙහිව සටන් කරන බවයි. මුල් අවධියේ ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවකු වූ එරට නීතිපතිවරයා, 2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනයේදී ධවල මන්දිරය මගහැර සිය ඇඟබේරා ගැනීමෙන් පසු, ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක් විය. ජෙෆ් සෙෂන්ස් එලෙස රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කරන බව දැනසිටියේ නම් තමන් වෙන අයකු නීතිපති තනතුරට පත් කරන බව ඉකුත් වසරේ ජුලි මාසයේදී ජනපති ට්‍රම්ප් පවසා තිබේ. ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපතිවරණයේ රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විවේචනය කළ සිය කාර්යමණ්ඩල ප්‍රධානී මැතිව් විටේකර්, තාවකාලිකව අමෙරිකානු නීතිපති ධූරයට පත් කරන බවයි. ජෙෆ් සෙෂන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් ඉල්ලා අස්වන බව සඳහන් කළේ, එම තීරණය ජනපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාවයට අනුව සිදුවුවක් බව පැහැදිලි කරමිනි. මින්පසු අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේ විශේෂ නීති උපදේශක මුලර් ව ධූරයෙන් ඉවත් කිරීමට හෝ එම විමර්ශන අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් පත්කිරීමට නියමිත නව නීතිපතිවරයාට හැකිවනු ඇති. මේ අතර නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් ව සිටින ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් පවසන්නේ, නව නීතිපති ධූරයට පත්කිරීමට නියමිත පුද්ගලයා අමෙරිකානු සෙනෙට් සභාව මගින් තහවුරු කර නොමැති බවයි. මෙමගින් ජනපති ට්‍රම්ප්ට සැඟවීමට යමක් ඇතැයි හෙළිවන බව ද ඩිමොක්‍රැටික් පක්ෂයේ සෙනෙට් සභා ප්‍රධානියා ප්‍රකාශ කළේ ය.