ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

by Staff writer 06-11-2018 | 7:43 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. මේ අතර සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමට සමුදීමට නියමිතයි. ටෙස්ට් තරග 92කදී ඉනිම 168ක් තුළ කඩුලු 430ක් දවාගෙන සිටින රංගන හේරත්, ලොව වැඩිම කඩුලුලාභී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා වේ. ටෙස්ට් වරම් ලද ගාලු පිටියෙන්ම ටෙස්ට් පිටියට සමුදෙන රංගන පවසන්නේ, කඩුලු 400 සීමාව පසු කළ ලොව පළමු වමතින් දග පන්දු යවන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීම තම ක්‍රිකට් ජීවිතයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය ටෙස්ට් තරග 4කට සහභාගී වී ඇති අතර දෙපිළම තරග දෙක බැගින් ජයගෙන තිබේ. තම ආයතන විනය නීති කඩ කිරීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳ වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කළා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගය සඳහා සහභාගීවීමට නියමිතයි. වසරකට පසුව කඩුලු රකින ක්‍රීඩක කෞශාල් සිල්වාට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මේ අතර සමබර කණ්ඩායමක් තමන් සතු බවත්, අද ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා තමන් සූදානම් බවත් එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වන්නේ වසර 8 කට පසුවයි. උදෑසන 10ට ආරම්භ වීමට නියමිත අද තරගයේ සියලු සජීවී තොරතුරු සිරස TV සහ TV 1 නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.