අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ඡන්ද විමසීම අද

අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ඡන්ද විමසීම අද

by Staff writer 06-11-2018 | 9:28 AM
අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ඡන්ද විමසීම අද මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ඇරඹීමට නියමිතයි. ජන්ද විමසීම පැය 12 ක කාලයක් පැවැත්වෙනු ඇති. මෙවර මැතිවරණයේ මේ වනවිටත්, මිලියන 31 කට වැඩි පිරිසක් පූර්ව ජන්ද ප්‍රකාශ කිරීම්වලදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර අද තවත් මිලියන ගණනක් ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ ධූර කාලයේ මුල් වසර දෙක සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සැලකෙයි. සාමාන්‍යයෙන් මධ්‍ය වාර මැතිවරණයකට ජන්ද දායකයන්ගේ සහභාගීත්වය අඩු වුවත් මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, මෙවර ඡන්ද දායකයන් රැසක් සිය ඡන්දය භාවිත කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවයි. මෙම මැතිවරණයේදී අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා ද සෙනෙට් සභාවේ ආසන 35 ක් සඳහා ද ආණ්ඩුකාර තනතුරු 39 ක් සඳහා ද නියෝජිතයන් තෝරා පත් කර ගනු ඇති. මැතිවරණ මත විමසුම් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කරගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවයි . කෙසේ වෙතත් සෙනෙට් සභාවේ පාලනය රිපබ්ලිකන් පාක්ෂිකයන් සතු වනු ඇතැයි ද එම මත විමසුම්වල වැඩිදුරටත් සඳහන් ය . මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට , අමෙරිකානු සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද බහුතර බලය හිමි අතර එම බලය අහිමිවුවහොත් අමෙරිකාවේ ප්‍රබලතම දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී ඔවුන්ට දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවනු ඇති.