by Staff writer 05-11-2018 | 5:15 PM
COLOMBO (News 1st) - එක්සක් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, ඔවුන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට අතින් පයින් පහරදී සුළු තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ කොල්ලුපිටිය පොලීසියට භාරවූ පසු එම මන්ත්‍රීවරුන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුගිය 01 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අජිත් ප්‍රසන්න මහතාට අතින් පයින් පහරදී සුළු තුවාල සිදු කර ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇති බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇත්තේ සමථ මණ්ඩලයට යොමු කර සමථ කළ හැකි චෝදනා බැවින් ඔවුන් ඇප මත මුදා හැර පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලෙස සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නඩුව ලබන පෙබරවාරි 14 කැඳවීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.