වායු දූෂණය හේතුවෙන් නව දිල්ලි නුවර ජනතාව අවදානමක

වායු දූෂණය හේතුවෙන් නව දිල්ලි නුවර ජනතාව අවදානමක

by Staff writer 05-11-2018 | 4:51 PM

වායු දූෂණය හමුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර දැඩි ඝන මීදුමකින් වැසී පවතින බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අගනුවර වායු ගුණාත්මකභාවය අවදානම් සහගත අන්දමින් පහතවැටෙන බව පැවසූ ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා සිටියේ, මේ වනවිට නගර වැසියන් ආශ්වාස කරන වාතයේ අඩංගු දූෂක කාරක ආරක්ෂිත මට්ටමට වඩා 20 ගුණයකින් ඉහළගොස් ඇති බවය. දීවාලි සැමරුමට දින දෙකක් තිබියදී නව දිල්ලි අගනුවරින් මෙවැනි තත්ත්වයක් වාර්තා වන අතර දීවාලි සැමරුම ඇරඹීමත් සමග මෙය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ද ඉන්දීය බලධාරීන් බිය පළ කර තිබේ. වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ මිලියනයකට වැඩි පුද්ගලයන් පිරිසක් මියයන අතර ලොව දූෂිතම වාතය සහිත නගරය නව දිල්ලිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.