කථානාකවරයාගෙන් විශේෂ නිවේදනයක්

බහුතරය පෙන්වන තුරු පෙර තත්ත්වය පිළිගැනීමට සිදු වන බව කථානායකවරයා අවධාරණය කරයි

by Staff writer 05-11-2018 | 10:59 AM

COLOMBO (News 1st) : බහුතරය පෙන්වීමට හැකිවන තෙක් පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ නිවේදනය කර තිබේ.

කථානායකවරයා පැවසූවේ, පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථාවට සහ සම්ප්‍රදායට විරුද්ධව සිදු කර ඇති බවත් පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙසත් බහුතරය ඉල්ලා ඇති නිසා මෙම තීරණය ගත් බවයි. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ ලිපියක් ප්‍රසිද්ධ කළේ ය. එහි සඳහන් වන්නේ, විපක්ෂ නායකවරයා ඇතුළු බහුතර මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශවීම වැළැක්වීම සඳහාත් හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකිරීම ජාතික යුතුකමක් ලෙස සලකන බවයි. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි බවත් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසත් කර ඇති ඉල්ලීම අතිශය සාධාරණ බව කථානායකවරයා පවසයි. ඔහුගේ ලිපියේ දැක්වෙන්නේ, නොවැම්බර් 01 වන දා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකර එදින රාත්‍රියේ තමන් දැනුවත් කරන බව ප්‍රකාශ කළ බවයි. එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව පසු දින පෙරවරු 10.30 ට පමණ ජනාධිපතිතුමා දුරකතනයෙන් දැන්වූ බව කරූ ජයසූරිය මහතා පැවසුවේ ය. ඔහු සිය ලිපියේ සඳහන් කළේ, එදින පෙරවරුවේ ජපන්, ප්‍රංශ, අමෙරිකානු සහ ඇෆ්ගනිස්තාන තානාපතිවරුන් හමුවූ අවස්ථාවේ ද නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිතුමා දන්වා තිබූ බවය. මහින්ද රාජපක්ෂ මහතා ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබූ බව කථානායකවරයාගේ ලිපියේ සඳහන් විය. ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමා වාචිකව දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේ නම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා ලෙස තමන්ගේ යුතුකම බවයි. ඒ සඳහා සහයවීම ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව තමන් සිතන්නේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝණය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් මහජන නියෝජිතයින්ට වරදාන ලබාදෙන බවට ලැබෙන තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු බවය. පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා මන්ත්‍රීවරුන්ගේ අයිතීන් පැහැරගෙන ඇතැයි බහුතරය පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් සිය ස්ථාවරය ලෝකයට පළ කරන බව ඔහු නිකුත්කළ ලිපියේ සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් ලෙස කථානායකවරයා සිය ලිපියේ හඳුන්වාදී තිබේ.

කථානායකවරයා නිකුත් කළ නිවේදනය පහතින්....