මාස 10ක් තුළ පාතාල සාමාජිකයින් 60ක් අත්අඩංගුවට

මාස 10ක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 60ක් අත්අඩංගුවට

by Staff writer 04-11-2018 | 7:02 AM
COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලසීමාව තුළ කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදු කළ මෙහෙයුම්වලිනි. මින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම් 30කදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව 45කි. දකුණු පළාතේ සිදු කළ මෙහෙයුම් 15කදී සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් අතරට පොඩි උණා, කුඩු නුවන්, බ්ලූමැන්ඩල් පැතුම් නෙහොත් උක්කුං, පෙතියාගොඩ සංඛ , චීටි, ජොනී, ගයියා, අගුලානේ රොෂාන්, වැල්ලේ සේනක, අරුණ ශාන්ත අත්තනායක නොහොත් පොලිස්, පොඩි විජේ, බෙබා සහ දිනූ නමැත්තන් ඇතුළත් ය. මේ අතර අත්අඩංගුවට ගැනීම් අතරතුර මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 4කි. අදාළ මෙහෙයුම් අතරතුර කඩු කිනිසි සහ මන්නා පිහි 23ක්, ටී 56 වර්ගයේ ගිනිඅවි සහ මැගසින් 11ක් ඇතුළු ගිනිඅවි 29ක්, ටී 56 උණ්ඩ 187ක් ඇතුළු උණ්ඩ 400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. ඊට අමතරව හෙරොයින්, ගංජා, අයිස් නමැති මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය.