විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් සහය දෙනවා - TNA

මහින්ද ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කිරීමට සූදානම් බව TNA කියයි

by Staff writer 03-11-2018 | 8:30 PM
COLOMBO (News 1st) - ව්‍යවස්ථාවට පටහැනිව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති මහින්ද රාජපක්ෂ මහාතා ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ,මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔවුන්ගේ ස්ථාවරය බව ය. දෙමළ ජාතික සන්ධානය ඊයේ සවස පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඉතුක් 26 වන දා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමත්, නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බව ද මෙම නිවේදනයේ සඳහන් ය. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට සිදු කරන දැඩි හානියක් බව ද දෙමළ ජාතික සන්ධනය පෙන්වා දෙයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අයෙකු අගමැති ලෙස පත් කිරීම හා බහුතර බලය පෙන්වීමට පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රමාද කිරීම කඩා කප්පල්කාරී ක්‍රියාවක් බව ය. එලෙස ප්‍රමාද කිරීම හරහා ඇමති ධූර ලබා දීම, මුදල් අල්ලස් දීම මගින් බහුතරය රැස් කිරීම සදාචාරාත්මක නොවන බව ද, එය දැඩි ලෙස හෙළා දකින බව ද දෙමළ ජාතික සන්ධානය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ව්‍යාලේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දකින බවත් ඔහුට එරෙහිව ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.