බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද තද වැසි

by Staff writer 03-11-2018 | 9:06 AM
COLOMBO (News 1st) : දිවයිනට ගිණිකොන දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ අද සිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ද ඇතුළත්ව බස්නාහිර, සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වලට අද දිනයේ මිලීමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි. තද වැසි හා ගිඟුරුම් සහිත වැසි පිළිබඳව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඌව පළාතේ මඩකලපුව, අම්පාර, පොතුවිල් සහ හම්බන්තොට ප්‍රදේශවලටත් මිලිමීටර් 75 න පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකා අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අඩු පීඩන තත්ත්වය හේතුවෙන් මුහුදු ප්‍රදේශවල දැඩි සුළං ඇති විය හැකි බවයි. දිවයිනට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි උපදෙස් ලබා දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සදහන් කළේ, එම ප්‍රදේශයේ ධිවර කටයුතු වල නිරත ධීවරයින් නිරන්තරයෙන් කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි. මේ සම්බන්ධයෙන් ධීවර දොපර්තමේන්තුවේ සියලු ම සෝදිසි මොහයම් අංශ දැනුවත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.