ඉරාන සම්බාධක 5 සිට පූර්ණ ලෙස ක්‍රියාත්මකයි

ඉරාන සම්බාධක 5 සිට පූර්ණ ලෙස ක්‍රියාත්මකයි

by Staff writer 03-11-2018 | 6:45 AM
 COLOMBO (News 1st) : ඉරානයට එරෙහිව ඇමරිකාව පැන වූ සම්බාධක ලබන 5 වනදා සිට පූර්ණ ලෙස ක්‍රියාත්මක වේ. කෙසේ නමුත් තවදුරටත් රටවල් 8කට ඉරානයෙන් බොර තෙල් ආනයනය කිරීමට අමරිකාව අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දියාවේ, දකුණු කොරියාව, ජපානය හා චීනය ඇතුළු රටවල් 8කට මෙලෙස තවදුරටත් මාස 6ක කාලයක් බොර තෙල් ආනයනය සඳහා අවසර ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය. කේසේ වෙතත් අමෙරිකාව එම රටවල් 8 නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන නොමැත. අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරයේ නියාමනයන්ට සහ අධීක්‍ෂණයට යටත්ව බලශක්ති උත්පාදනය සඳහා පමණක් න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල යෙදෙන බවට සහතික වෙමින් 2015 වසරේ අමරිකාව,ප්‍රංශය,ජර්මනිය,බිත්‍රාන්‍ය සමග ඉරානය න්‍යෂ්ටික ගිවිසුමකට එළඹිණ. නමුත් පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉරානය එම ගිවිසුමේ කොන්දෙසි කඩ කළ බවට චෝදනා කරමින් ඉන් ඉවත්වීමට පියවර ගත්තේ ය. ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාර වශයෙන්,ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්බාධක ක්‍රියාත්මක නොකර සිටීමට ඇමරිකාව ඉරානයට කොන්දේසි 12ක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ අතර ත්‍රස්තුවාදයට සහය නොදැක්වීම,සිරියාවේ යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවීම ඇතුළු කොන්දේසි අන්තර්ගත වී තිබිණ.