පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි..

පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි: 5 වැනි දා පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැති බවට ඉඟියක්

by Staff writer 02-11-2018 | 7:33 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග කාරක සභා රැසක් අහෝසී වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනු ලැබුවේ පසුගිය 27 වැනිදාය. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, මහජන පෙත්සම් කාරක සභාව සහ ගෘහ කාරක සභාව එලෙස අහෝසි වන බවය. ඊට අමතරව අමාත්‍යංශීය උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව, වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක් අහෝසි වී තිබේ. එහෙත් අංශික අධීක්ෂණ කමිටු, උසස් නිලතල පිළිබඳ කාරක සභාව හා තේරීම් කාරක සභාව තවදුරටත් ක්‍රියාත්මකවීමට නව ස්ථාවර නියෝග යටතේ ප්‍රතිපාදන පවතින බව නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. මේ අතර නව ආණ්ඩුවේ සියලු අමාත්‍යරුන් දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ නව ආසන පැනවීම ආරම්භ කිරීමට නියමිත වේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පාර්ලිමේන්තුව නැවත රැස්වන නිශ්චිත දිනයක් මෙතෙක් දැනුම් දී නොමැති බවයි. ලබන 5 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. එහෙත් ඊයේ පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක හමුවේදී 5 වැනි දා පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බව ප්‍රකාශ වී තිබුණේ එදින ආණ්ඩුවට සහාය පළ කරන විරෝධතාවක් පැවැත්වීම හේතුවෙනි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.