by Staff writer 02-11-2018 | 10:03 PM
COLOMBO (News 1st) : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේ ය.
ඒ, අවශ්‍ය සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සැඟව සිටීමට ආධාර උපකාර කළේ යැයි, යන චෝදනාව සම්බන්ධයෙනි.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් මින් පෙර අවස්ථා තුනකදී අධිකරණය විසින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව දෝෂාරෝපණය කළ මහේස්ත්‍රාත්වරයා අද එම නියෝගය නිකුත් කළේ ය.
රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර නොගන්නේ නම්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසට ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
මෙම නඩුව පවරා ඇත්තේ 2008 වසරේදී කොළඹදී සුදු වෑන් භාවිත කරමින් තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දහවන සැකකාර හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර තිබීයදී නාවික හමුදා මූලස්ථානය තුළ ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.