"අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා"

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

by Staff writer 01-11-2018 | 4:31 PM
COLOMBO (News 1st) - මෙරට දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන අවස්ථාවේ සමස්ත මහජනතාව ජාතික හැඟීමෙන් හා නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස මේ වන විටත් විවිධ පාර්ශව මෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව ය. සමාජ ජාල මාධ්‍ය, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙවැනි සාවද්‍ය මෙන්ම පදනම් විරහිත ප්‍රවෘත්ති හා මතවාදයන් ව්‍යාප්ත කිරීම සිදු වන බව එම නිවේදනයේ සඳහන් වේ. එවැනි නොමග යවන සුළු මතවාද මගින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබා දීමෙන් වැඩබිම් ඇතුළු විවිධ ස්ථානයන්හි නොසන්සුන්තාවක් නිර්මාණය කිරීම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම්වල අරමුණ වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව කිසිදු පාර්ශවයක් ප්‍රචාරය කරන පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන මෙන් රජය පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.