දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු පැතුම් නිශ්ශංක රෝහල් ගත කෙරේ

by Staff writer 31-10-2018 | 9:28 PM

COLOMBO (News 1st) - එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දුව හිසේ වැදීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

කෙසේ වෙතත් මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ එන්.සී.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 392 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටවූවේ ය. පැතුම් නිශ්ශංක අනතුරට ලක් වූයේ පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් පන්දුවට පහරදෙමින් සිටියදීයි. නිෂාන් පීරිස් යොමු කළ පන්දුවකට ජෝස් බට්ලර් පහර එල්ල කිරීමෙන් අනතුරුව එය පැතුම් නිශ්ශංකගේ හිස් ආවරණයේ වැදුණු අතර ස්ලිප්හි පන්දු රැකීමෙහි නිතර වී සිටි ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුව රැක ගත්තේ ය. අනතුරුව බට්ලර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැවී යාම සමරමින් සිටියදී පැතුම් නිශ්ශංක කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔවුන් දැක තිබේ. හිස් ආවරණයක් පැළඳ සිටියද පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව මිනිත්තු 20 කට ආසන්න කාලයක් ඔහු සිහිමද ස්වභාවයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කර එම්.ආර්.අයි ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ බවට කණ්ඩායමෙන් ලැබෙන වාර්තාවල සඳහන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.