ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සිදුවූයේ කුමක් ද? - අර්ජුනගේ හෙළිදරව්ව

by Staff writer 31-10-2018 | 8:36 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පසුගිය දා වූ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රණතුංග මහතා පවසන්නේ, ලන්ඩන් නුවර පැවති සම්මන්ත්‍රණයකට සහභාගිවී තමා ඔක්තෝබර් මස 28 වන දා මෙරටට පැමිණි බවයි. ඒ වනවිට ආණ්ඩු පෙරළියක් සිදු ව තිබීම නිසා නිල නිවසේ තිබූ පෞද්ගලික භාණ්ඩ ඉවත් කර ගැනීමට අමාත්‍ය කාර්යාලයේ තබා තිබූ යතුර ලබා ගැනීම සඳහා එහි ගිය බව අර්ජුන රණතුංග මහතා එම නිවේදනයෙන් කියා සිටියේ ය. ඔහු පවසන්නේ, මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයාට දුරකතනයෙන් අමතා දැනුම් දුන් අතර ඔහු කොළඹින් පිට සිටින බැවින් යතුරු ලබාදීමට අතිරේක ලේකම්වරයකු පැමිණෙන බව දැනුම් දුන් බවයි. එම අතිරේක ලේකම්වරයා එනතුරු බිම් මහලේ රැඳී සිටින විට එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස දීගනගේ නැමැත්තා එම ස්ථානයට පැමිණ තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව රණතුංග මහතා පවසා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ තමා සන්නිවේදන හා අළෙවිකරණ සේවා කාර්යාලයේ රැඳවීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත් බවයි. එහි රැඳී සිටින අවස්ථාවේදී ද කුලතිස්ස දීගනගේ නැමැත්තා වැඩ තහනමට ලක් වූ සංස්ථා සේවකයෙකු වන බන්දුල සමන් කුමාර නැමැත්තා සමග යළි පැමිණි බව අර්ජුන රණතුංග මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එහි දැක්වෙන්නේ පොලු, මුගුරු හා ක්‍රිකට් පිති රැගත් විශාල පිරිසක් ද ඔවුන් සමග පැමිණි බවයි. එම පිරිස තමා සිටි කාමරයේ දොර කඩා ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක භටයින් තිදෙනෙකු එය වැළැක්වීමට තැත් කරන ආකාරය තමා දුටු බව ද අර්ජුන රණතුංග මහතා පවසා ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ එම අවස්ථාවේ මැර පිරිසේ පහරකෑමට ලක් වූ එක් ආරක්ෂක භටයෙක් ඇද වැටෙනු දුටු බවයි. ඒ සමග වෙඩි පහරවල් කිහිපයක් ඇසුණු බවත් ඉන් පසු මැර පිරිස එම ස්ථානයෙන් පැන දුවනු දුටු බවත් රණතුංග මහතා පැවසීය. ඔහු සිය නිවේදනයේ දක්වා තිබෙන්නේ අදාළ මැර පිරිස පැය තුනකට අධික කාලයක් තමාව කාමරය තුළ සිරකර තැබූ බවයි. තමා නිරුපද්‍රිතව පිටතට ගෙනයාම සඳහා විශේෂ කාර්ය බලකා සෙබළුන්ට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේ ය. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මැර පිරිසට වෙඩි තබන ලෙසට තමා නියෝග කළ බවට ඇතැම් අය අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි. එම අවසානාවන්ත සිද්ධිය නිසා ජීවිතයක් නැති වූ බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කණගාටුව පළ කරන බවත් රණතුංග මහතා පවසා තිබේ. ඔහු අවධාරණය කරන්නේ, එම අහිමි වූ ජීවිතයේ වගකීම මැර ප්‍රහාරය සංවිධානය කළ අයට හා එය පිටුපසින් සිටින අයට පැවරෙන බවයි. මේ පිළිබඳ අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා සම්පුර්ණ සත්‍යය රටට හෙළිදරව් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද අර්ජුණ රණතුංග මහතා තම නිවේදනයෙන් අවධාරණය කළේ ය.