අරලියගහ මන්දිරයෙන් රජයේ නිලධාරීන් ඉවත් කෙරේ

by Staff writer 31-10-2018 | 8:43 PM

COLOMBO (News 1st) - අරලියගහ මන්දිරයේ රජයේ නිලධාරීන් ඉවත් කිරීම නිසා මේ වනවිට කිසිදු රජයේ පාලනයක් ඒ තුළ නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර,
දැනට අරලියගහ මන්දිරය අග්‍රාමාත්‍ය නිල නිවාස වගේම ඒ පරිශ්‍රය තුළ පිහිටලා තියනවා කාර්යාල කීපයක් ඒ වගේ කවුරුවත් අද වෙනකොට කිසිම රජයේ නිලධාරියෙක් නැහැ. නිලධාරීන් ඔක්කොම මාරු කළා ඒ මාරු කරපු නිලධාරීන් තම තමන් යටතේ තියන බඩු බාහිරාදිය අපි නම් කරපු නිලධාරියෙකුට භාර දෙන්න නියම කරලා තියනවා. ඒ භාර දෙන්න කියපු නිලධාරියාටයි භාර ගන්න ගියපු නිලධාරියාටයි ඊයේ පෙරේදා කටයුතු කරගෙන යන්න දීලා තියනවා. කවුරුවත් බාධා කරලා නැහැ. නමුත් අද ඒ කටයුත්ත කරගෙන යන අතරතුර උදේවරුවේ මං හිතන්නේ දවල් ආහාර වේලාවට ආසන්නයේ පිටස්තර පුද්ගලයෝ පිරිසක් ඇවිල්ලා ඒ ගොල්ලන්ට මරණිය තර්ජන කරලා ඒ ගොල්ලන් අත්අඩංගුවට ගන්නත් උත්සාහ කරලා තියනවා එක්කෙනෙකුට මං හිතන්නේ පහරදීමකුත් සිද්ධවෙලා තියනවා. ඒ පුද්ගලයෝ කොහොම හරි බේරිලා ඇවිල්ලා තියනවා. මේක සම්පූර්ණයෙන්ම ඒ නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වගේම පොදු දේපලක් පිටස්තර පුද්ගලයින් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් අත්කර ගැනීමක් ඒ කියන්නේ මේක බරපතළ ක්‍රියාවක් මේ සම්බන්ධයෙන් අපි පොලීසියට පැමිණිලි කරලා තියනවා. එතන කිසිම රජයේ පාලනයක් දැන් නෑ එතන මං හිතන්නේ මෙතන කෝටී ගාණක දේපල තියනවා ඒ දේපලවලට වගකියන්න කෙනෙක් නැති තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ දැනට නාඳුනන පුද්ගලයින් කණ්ඩායමක් ඒක අත්පත් කරගෙන ඉන්නේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වුනේ, මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද දහවල් පැමිණි බවයි. එම පිරිස අරලියගහ මන්දිරයට ඇතුලුවී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සුදානම්වීමේදී ජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව එම නිවේදනයේ සඳහන් විය. සිද්ධිය සැලවූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනයට කිරීමය පියවර ගත් බවත් අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් සුරක්ෂිතව පිට කිරීමට අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් පියවර ගත් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.