ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට

කර්තෘ Staff writer

28 Oct, 2018 | 7:50 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණූ 30 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණූ 187 ක් රැස් කළේ ය.

ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ජේසන් රෝයි සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 69 කි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 6 ක් ඇතුළත්ය.

මොයින් අලී ලකුණූ 27 ක් රැස් කළ අතර බෙන් ස්ටොක්ස් ලකුණූ 26 ක් රැස් කර තිබේ.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණූ 30 ට කඩුළු 2 ක් දවා ගත් අතර අමිල අපෝන්සු ලකුණු 29 ට කඩුළු 2 යි.

අනතුරුව ලකුණු 188 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු දෙකම මුල් පන්දුවාර තුන තුළ දවා ගැනීමට දකුණතින් පා දඟපන්දු යවන ජෝ ඩෙන්ලි සමත් විණි.

ඔහු ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක සහභාගී වූයේ වසර 8 කට පසුවයි.

ඊයේ දිනයේදී ජාත්‍යන්තර 20 යි 20 වරම් දිනා ගත් යොවුන් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නවකයෙක් වුවද හතරේ පහර 3 ක් හා එක් දැවැන්ත 6 පහරක් සමගින් ලකුණු 24 ක් රැස් කළේ ය.

ධනංජයද සිල්වා ලකුණු 17 ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ එකතු කර ගනිමින් එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සූදානම් වුවත් ඔහුට ඒ සඳහා නිසි සහයක් ලැබු‍‍ණේ නැත.

සිය 20 යි 20 ක්‍රිකට් දිවියේ තෙවන අර්ධ ශතකය ලබා ගත් තිසර එක් හතරේ පහරක් හා හයේ පහර 6 ක් සමග ලකුණු 54 ක් රැස් කර ඇත.

තිසරගේ අර්ධ ශතකය වාර්තා අතරට එක්වුනේ එංගලන්තයට එරෙහිව ඔහු ලබා ගත් පළමු 20 යි 20 අර්ධ ශතකය ලෙසටයි.

අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 158 කට සීමා වූයේ මෙවර තරගාවලියේ 20 යි 20 කුසලානයත් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමිනි.

පන්දු යැවීමේදී ජෝ ඩෙන්ලි ලකුණු 19 ට කඩුළු 4 ක් දවා ගත් අතර ආදිල් රශිඩ් කඩුළු 3 ක් දවා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]