ජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

කර්තෘ Hashini De Mel

28 Oct, 2018 | 6:33 am

COLOMBO (News 1st) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජාතිය ඇමතීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර පැවති හමුවෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද එක් ව සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් එම රැස්වීමේදී ඒකමතික තීරණයකට පැමිණ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතායි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රජයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කළ බවය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද ඊට එක් ව සිටියහ.

තම සහාය ද රජයට ලබාදෙන බව එහිදී ඔවුන් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.