“රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමියි”

“රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමියි”

“රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමියි”

කර්තෘ Sakila Udayakumara

27 Oct, 2018 | 3:30 pm

COLOMBO (News 1st) – එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ආරුමුගන් තොණ්ඩමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ද මේ සඳහා සහභාගී විය.

මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ, තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බව ය.

පාර්ලිමේන්තුවේ බහුතරය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ය.

පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවත්වීමට කටයුතු කිරීමටත් අයවැය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේ ය.

අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ, ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම ව්‍යවස්ථානකූලව සිදු කළ බව ය.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා සිදු කළ පත් කිරීම ව්‍යවස්ථාවට විරෝධී බවට චෝදනා කළත් 42/4 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් එය ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ය.

සම්මුති ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වීම මගින් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යාමට අවශ්‍ය සංයුතිය නොමැති වීමෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය අහෝසි වීම මගින් අගමැති ධූරය ද අහෝසි වෙයි.

නොවැම්බර් 5 වන දා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් දින කිහිපයක් තුළ අංග සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කළ නොහැකි බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මේ නිසා අතුරු සම්මත ගිණුමක් සම්මත කොට මාස 3කට ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා එමගින් අවශ්‍ය මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ය.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සිටින බොහෝ දෙනෙකු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

බහුතරයක් පෙන්වීම සඳහා සහයෝගය ඉල්ලන අවස්ථාවේදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු සඳහන් කළේ ය.

ආනන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් එක්වන බව ය.

මේ අතර හෙට උදෑසන වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත් වන ලෙසට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරෙන් ඉවත් නොවන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බව ද විමල් වීරවංශ මහතා අවධාරණය කළේ ය.

විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවේ, අන්තර්කාලීන පාලනයක් තුළින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නායකත්වය යටතේ යළි රටේ ආර්ථිකය ශක්තිමත් කොට රට ස්ථාවර කිරීමටත් හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමටත් කටයුතු කරන බව ය.