ජනපතිගේ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

ජනපතිගේ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

ජනපතිගේ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

කර්තෘ Staff writer

27 Oct, 2018 | 7:07 am

COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අද අලුයම ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව පළ වූ ගැසට් නිවේදනය මෙසේයි.

උපුටා ගැනීම,

අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/ 4 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ බැව් මෙයින් දැනුම් දෙනු ලැබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි උදය ආර් සෙනෙවිරත්න, ජනාධිපති ලේකම්.

උපුටා ගැනීම අවසන්.

මේ, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව පළ වු ගැසට් නිවේදනය.

උපුටා ගැනිම ..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/ 4 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ පත්වීම් බලධරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරි ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි උදය ආර්. සෙනෙවිරත්න, ජනාධිපති ලේකම්.

උපුටා ගැනීම අවසන්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ ඊයේ රාත්‍රීයේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඔහුගේ දිවුරුම් දීම සිදු කෙරිණි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණේ, ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වීමෙන් පසුව ය.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණයට එළැඹිණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඔහුට ලිපියක් මගින් දැනුම් දුන්නේ ය.

ලිපිය යොමු කරමින් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/4 ව්‍යවස්ථාවට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව ය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් පැවසුවේ, තමන් ව්‍යවස්ථානුකූලව තවමත් අගමැතිවරයා ලෙස කටයුතු කරන බව ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන් බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.

මේ අතර කථානායක කාර්යාලය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, රට තුළ උද්ගත වූ අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබඳව කථානායකවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බව ය.

මෙම තත්ත්වයට අදාළව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මේ වන විටත් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව කථානායකතුමා ස්වකීය ස්ථාවරය අද දිනයේ පැහැදිලි කිරීමට නියමිත ය.

එහිදි නීතියට අනුකූලව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව කථානායකවරයා අවධාරණය කරන බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

එම දේශපාලන තීන්දුවත් සමග ඊයේ පස්වරුවේ සිට අද අලුයම දක්වාම ජනාධිපති කාර්යාලයත් අරලියගහ මන්දිර පරිශ්‍රයත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිවස පරිශ්‍රයේත් දැඩි කලබලකාරී තත්ත්වයක් පැවතියේ ය.

ඒ, මතුව තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විවිධ පක්ෂවල දේශපාලන නායකයින් පැමිණීමත් සමග ය.

මේ අතර සුළු දේශපාලන පක්ෂවල කණ්ඩායම් ද තම නායකත්වය යටතේ රැස්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව අද අලුයම වන තෙක් සාකච්ඡා පවත්වනු ලැබී ය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය අමතමින් පැවසුවේ, ව්‍යවස්ථානුකූලව තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරය හොබවන බව ය.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ඊයේ රාත්‍රිය දක්වාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින් ඇතුළු දේශපාලන නායකයින් රැසක් පැමිණියහ.

ඔවුන් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ව්‍යවස්ථානුකූල බව ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් විජේරාමේ ඔහුගේ නිල නිවස පරිශ්‍රයට පැමිණියේ ය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශය පැවසුවේ, ශ්‍රී ලංකා ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බව ය.

ඊට අමතරව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට අවතීරණ නොවිය යුතු බව ද එම කාර්යංශය සඳහන් කළේ ය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යංශය සඳහන් කළේ, පවතින වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙස විමසිලිමත්ව සිටින බව ය.