හෙරොයින් කැප්සූල් ගිල ආ පකිස්ථාන යුවළක් අත්අඩංගුවට

රු. ලක්ෂ 42ක් වටිනා හෙරොයින් කැප්සූල් ගිල ආ පකිස්ථාන යුවළක් අත්අඩංගුවට

by Staff writer 26-10-2018 | 8:55 AM
COLOMBO (News 1st) - හෙරොයින් අඩංගු කැප්සූල් ගිල මෙරටට පැමිණි පකිස්ථාන යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ උදරයේ තිබී රුපියල් ලක්ෂ 42කට අධික වටිනාකමකින් යුත් කැප්සූල් 35ක් හමුවී ඇති බව ය. එහි බර ග්‍රෑම් 350කි. ඊයේ පස්වරුවේ සැකකාර යුවළ ලාහෝර් සිට ඩුබායි හරහා මෙරටට පැමිණ ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය මගින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ද කැප්සූල ගිල දමා ඇති බවට සැක කෙරෙන අතර ඔහු ද පරීක්ෂා කිරීම්වලට භාජනය කිරීමට නියමිතව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. 67 හැවිරිදි සැකකාර කාන්තාව මීට පෙර 6 වතාවක් මෙරටට පැමිණ ඇති අතර 44 හැවිරිදි පිරිමි පුද්ගලයා පළමු වරට මෙරටට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව ය.