රාජ්‍ය වැටුප් සමාලෝචන වාර්තාව 31 වන දා ජනපතිට

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන 31 වන දා ජනපතිට

by Staff writer 26-10-2018 | 12:45 PM
COLOMBO (News 1st) - සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන 31 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කොමිසමේ සාමාජිකයෙකු සඳහන් කළේ, වාර්තාවට ඇතුළත් නිර්දේශ මත ඉදිරියේදී සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩී වීමක් සිදු විය හැකි බව ය. වාර්තාව, ජනාධිපතිතුමා අනුමත කිරීමෙන් අනතුරුව මෙවර අයවැයට අදාළ යෝජනා ඇතුළත් කළ හැකි වේ. කොමිසම පළමු වරට රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ ද, එහි නිර්දේශ තුළින් ඉදිරි අයවැය සම්පාදනයේදී මග පෙන්වීමක් ලබා ගත හැකි බව ය. රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව අවම කිරීම සඳහා වූ විශේෂ යෝජනා කිහිපයක් ද වාර්තාවට ඇතුළත් ය. රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ය. හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා එහි සභාපති ලෙස කටයුතු කරයි. කොමිසමේ ලේකම් ධූරය හිමිව ඇත්තේ එච්.ජි. සුමනසිංහ මහතාට ය. ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කරනු ලැබුවේ, රාජ්‍ය සේවයේ වැටුප් තල සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමේ අරමුණිනි.