රොබට් ඩී. නිරෝගේ ආපන ශාලාවකටත් බෝම්බ පාර්සලයක්

අමෙරිකානු සුපිරි නළු රොබට් ඩී. නිරෝට අයත් නිව් යෝර්ක්හි ආපන ශාලාවකටත් බෝම්බ පාර්සලයක්

by Staff writer 26-10-2018 | 7:52 AM
(News 1st) - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයින් කිහිප දෙනෙකුට සහ සී.එන්.එන්. පුවත් සේවය වෙත යැවුණු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිට යවා ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ. එෆ්.බී.අයි. විමර්ශනවලට අනුව මෙම පාර්සල යවා ඇත්තේ එකම ලිපිනයකිනි. එෆ්.බී.අයි. විමර්ශනවලට අනුව අදාළ පාර්සලවල ආපසු ලිපිනය ලෙස ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙසෙන ඩිමොක්‍රටික් ජාතික සංගමයේ හිටපු සාමාජිකයෙකුගේ ලිපිනයක් සඳහන් කර ඇතැයි අනාවරණය වී තිබේ. එම බෝම්බ පාර්සල ඉන්ටර්නෙට් යොදා ගනිමින් නිර්මාණය කළ ඒවා බවට ද ‍එෆ්.බී.අයි. විමර්ශන වාර්තාව හෙළි කළේ ය. කෙසේ වෙතත් එෆ්.බී.අයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ විලියම් ස්වීනි පැවසුවේ, වැඩිදුර තොරතුරු හෙළි කිරීම විමර්ශනවලට බාධාවක් වනු ඇති බව ය. මේ අතර නිව් යෝර්ක්හි පිහිටි අමෙරිකානු සුපිරි නළු රොබට් ඩි. නිරෝට අයත් ආපන ශාලාවකට ද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබේ. ඒ, මෙම සිදුවීම් මාලාවේ 9 වන සිද්ධිය ලෙස ය. මේ ආකාරයෙන්ම අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයින් කිහිප දෙනෙකු සහ සී.එන්.එන්. පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලැබුණු අතර එම පාර්සල් ලද පුද්ගලයින් අතරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු සී.අයි.ඒ. ප්‍රධානී ජෝන් බ්‍රෙනන් සහ හිටපු නීතිපති එරික් හෝල්ඩර් ද අයත් ය.