CNNආයතනයට පුපුරණ ද්‍රව්‍ය යැවීම ත්‍රස්ත ක්‍රියාවක්

CNN කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් - නිව්යෝක් නගරාධිපති

by Staff writer 25-10-2018 | 8:14 AM

අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩි. බ්ලේසියෝ පවසයි.

එම පාර්සල් යැවුණු පුද්ගලයින් අතරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු CIA ප්‍රධානී ජෝන් බ්‍රෙනන් සහ හිටපු නීතිපති එරික් හෝල්ඩර් ද අයත් ය. අමෙරිකානු බලධාරීන් පැවසූවේ, මෙම පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් නිව්යෝක්, වොෂින්ටන් සහ ෆ්ලෝරිඩා යන ප්‍රදේශ වෙත යවා ඇති බවයි. මෙය අමෙරිකාවේ නායකයින් සහ මාධ්‍ය නිදහස ප්‍රචණ්ඩ ක්‍රියා මගින් බියගැන්වීමේ අරමුණින් කළ ක්‍රියාවක් බව ද නිව්යෝක් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. මෙම පරීක්ෂණයට සෙසු සියලු පරීක්ෂණ ඉක්මවා ප්‍රමුඛස්ථානය ලබාදෙන බව FBI ආයතනය ප්‍රකාශ කර තිබේ. CNN පුවත් සේවයට මෙම බෝම්බ පාර්සලය ලැබීමත් සමග එහි කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කෙරුණි. මේ වනවිට අමෙරිකානු පොලීසිය එම පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණ නිෂ්ක්‍රිය කර අවසන් ය. මෙම සිදුවීම ලබන මස 6 වැනි දින පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය වඩාත් අර්බුධකාරී තත්ත්වයකට ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම මැතිවරණයෙන් කොංග්‍රසයේ මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතු බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිකරගත හැකි ද යන්න විමසා බැලෙනු ඇත. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හෝ සැකකරුවන් පිළිබඳ පොලීසිය මෙතෙක් කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.