CIA ප්‍රධානියා ඛෂෝග්ජි ඝාතන හඬ පටයට සවන් දෙයි

CIA ප්‍රධානියා ඛෂෝග්ජි ඝාතන හඬ පටයට සවන් දෙයි

by Sagarika Chathumali 25-10-2018 | 5:20 PM
(COLOMBO) News 1st : සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට අමෙරිකානු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ (CIA) ජීනා හැස්පල් විසින් සවන් දෙනු ලැබ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තුර්කියේ සංචාරය අතරතුර හැස්පල් ඊයේ මෙම හඬ පටයට සවන් දී ඇති බවයි. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ දැඩි විවේචකයෙකු වූ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි පසුගිය 2 වන දා තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු අතුරුදන් විය. 59 හැවිරිදි ඛෂෝග්ජි එලෙස කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. අතුරුදන් ඛෂෝග්ජි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්ව ඇති බව තුර්කිය පැවසූ අතර සෞදි රජය එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඛෂෝග්ජි සිය කටයුත්ත අවසන් වීමෙන් පසු කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බවයි. කෙසේ වෙතත් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වූ හඬ පටයක් ඇතුළු ප්‍රබල සාක්ෂි තමන් සතු බව කියමින් තුර්කිය දිගින් දිගට ම චෝදනා කළේ, ඛෂෝග්ජි කොන්සල් කාර්යාලය තුළදී ම ඝාතනය කර ඇති බවටයි. එහෙත් අදාළ හඬ පටය මාධ්‍යට හෝ වෙනත් කිසිවෙකුට ලබා නොදීමට තුර්කි බලධාරීහු වගබලා ගත්හ. මේ අතර මුළු ලෝකයේ ම අවධානය ඛෂෝග්ජිගේ අතුරුදන් වීම වෙත යොමු වූ අතර ඛෂෝග්ජිට සිදුවූයේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට ලෝක බලවතුන්ගෙන් සෞදියට දැඩි බලපෑම් එල්ල වන්නට විය. මෙකී පසුබිම යටතේ සෞදිය පැවසුවේ, කොන්සල් කාර්යාලය තුළදී ඇති වූ ගැටුමකින් ඛෂෝග්ජි ජීවිතක්ෂයට පත්ව ඇති බව ත් ඔහුගේ සිරුර ඇති ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් තමන් නොදන්නා බව ත් ය. කොන්සල් කාර්යාලය තුළදී ඔහු හමුවූ පුද්ගලයින් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් ඛෂෝග්ජි මියගොස් ඇති බව පැවසූ සෞදිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට අදාළව සෞදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමට ලක් කර තවත් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එහෙත් තුර්කි බලධාරීන් ඛෂෝග්ජිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සිය විමර්ශන සිදු කළ අතර මීට දින දෙකකට පෙර තුර්කි පොලීසිය සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ නිවස සහ අවට කළ සෝදිසි කිරීම්වලදී ඔහුගේ ගෙවත්තේ තිබී ඛෂෝග්ජිගේ සිරුරු කොටස් සොයා ගත්තේ ය. ජමාල්ගේ සිරුර කැබලි කර ඇති බවත්, ඔහුගේ මුහුණ හඳුනා ගැනීමට නොහැකි වන සේ කපා කොටා තිබූ බවත් තුර්කි පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. කෙසේ වෙතත් ඛෂෝග්ජිගේ ඝාතන සිද්ධියත් සමග සෞදිය ලොව රටවල දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට වූ අතර අමෙරිකාව ප්‍රමුඛ සිය මිතුරු රටවල් සමග තිබූ සබඳතා පළුදු වන්නට තරම් එය ප්‍රබල සිදුවීමක් බවට පත්ව තිබේ. මේ අතර ඛෂෝග්ජිගේ සිරුරු කොටස් හමුවීමත් සමග සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු අවධාරණය කර සිටියේ, මාධ්‍යවේදියාගේ ඝාතනයේ වග කිවයුත්තන්ට දඬුවම් කරන බවයි. කෙසේ වෙතත් තුර්කි ආරක්ෂක අංශ පවසන්නේ, සල්මාන් කුමරුගේ අනුදැනුම යටතේ මෙම ඝාතන මෙහෙයුම දියත් වී ඇති බවටයි. පෙර පුවත්.... 

*ඛෂෝගි ඝාතනය ගැන සෞදිය දැන් කියන කතාව

*මාධ්‍යවේදී ජමාල් මියගොස් ඇති බව ට්‍රම්ප් පිළිගනී..?

*බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට අනතුරු ඇඟවීමක්…!

*තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ…?