හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 25-10-2018 | 7:13 PM
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. වැඩ තහනමට ලක්ව සිටින, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද රාත්‍රී 7ට පමණ  අත්අඩංගුවට ගැණුනේ පස්වැනි දිනටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණි බවයි. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා සහ මේ සතියේ සඳුදා හා අඟහරුවාදා යන දිනවලදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. ඒ, ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.