ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ...

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 25-10-2018 | 7:43 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේ, මධ්‍ය කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත වූ බවයි. ඉන් මහවැලි ගඟට තත්පරයට ඝනමීටර් 14 ක් මුදා හැරේ. මේ අතර රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ ද වාන් මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශය භාර ඉංජිනේරු කේ. ටි. බී රාජරත්න මහතා පැවසුවේ ය. ඒ හේතුවෙන් එම ජලාශවලද ස්වයංක්‍රිය වාන් දොරටු ඉදිරි පැය කිහිපය තුළ විවෘත විය හැකි ය. ඒ හේතුවෙන් රන්ටැඹේ ජලාශයට පහළ මහවැලි ගඟ භාවිත කරන්නන් විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි. අධික වර්ෂාවත් සමග නුවරඑළිය, මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කට පැනවූ නාය යෑමේ අනතුරු ඇඟවීම පිළිබඳ අවදානයෙන් සිටින්නැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථායේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 - 150 ත් අතර ඉතා තදවැසි අද ත් ඇතිවිය හැකි බවයි. දිවයිනේ දැනට පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.