ශිෂ්‍යත්ව විභාග චක්‍රලේඛය අහෝසියි

ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කළ චක්‍රෙල්ඛය හකුළා ගන්නැයි, ඇමතිගෙන් උපදෙස්

by Staff writer 25-10-2018 | 6:25 PM
COLOMBO (News 1st) : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රෙලේඛය වහා ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේදී මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, අධ්‍යාපනඥයින් සහ ළමා මනෝ විද්‍යාඥයින් ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක් සමග කළ සාකච්ඡාවකින් පසු එම උපදෙස් දුන් බවයි. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය විභාගයක් නොවන අතර කැමති සිසුන්ට පමණක් විභාගයට පෙනී සිටිය හැකි බව අමාත්‍යවරයා පවසයි. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ලබන වසරේ සිට මෙම චක්‍රලේඛය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.