පදවියේදී මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පදවියේදී හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 25-10-2018 | 3:47 PM
COLOMBO (News 1st) : පදවිය ප්‍රදේශයේදී යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී පසුගිය දා ටී 56 උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උණ්ඩ සැපයීමේ චෝදනා මතයි. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා ලාන්ස් ක්‍රෝපල්වරයෙකු සහ සෙබලෙකි. ඔවුන් පදවිය, පරාක්‍රමපුර, කම්බිලිවැව යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන්නන් බව පොලීසිය සඳහන් කළේ ය. මෙම මේජර්වරයා රැඳී සිටි යුද හමුදා නිවස්නය පිටුපස කැලෑබද ප්‍රදේශයක තිබී පතරොම් බහාලා තිබූ පෙට්ටි 4 ක් පොලිසිය සොයා ගත්තේ ය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ප්‍රධාන පෙළේ සහයකයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ටී. 56 උණ්ඩ තුන් දහසක සමග අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 21 වනදායි. ඔවුන් සන්තකයේ තිබි නයින් MM වර්ගයේ පතොරෙම් 32 ක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. අදාළ සැකකරුවන් අතරට ලද්දුව රොෂාන් නමැති හිටපු නාවික හමුදා සාමාජිකයෙකු ද සිටී.