ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස්, පාලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 25-10-2018 | 6:16 PM
COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍ර‍ධාන විධායක නිලධාරි කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන මස 8 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර මහත්මිය විසින් පසුගිය නඩු වාරයකදී ලබා දුන් සංවෘත ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විනිසුරු ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ විවෘත අධිකරණයේදී ප්‍රකාශ වූ කරුණක් සම්බන්ධයෙන් සංවෘත පිළිතුරක් ලබා දිය නොහැකි බවත්,ඒ සම්බධයෙන් විවෘත අධිකරණය තුළ කරුණු දැක්වීමක් සිදුකළ යුතු බවත් ය. ඒ අනුව ලබන 08 වන දා ඒ සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ කරුණු දක්වන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා මාස 8කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බැවින් ඔහුගේ බිරිඳ සහ දියණිය මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. ඒ පිළිබඳව සලකා බලා තම සේවා දායකයා වන අර්ජුන් අලෝසියස් මහතාට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළේ ය. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ලබන 8 වනදා සිදුකරන බව නීතිපති දෙපාර්තමෙන්තුව මෙහිදී සඳහන් කළේ ය.