CNN කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එයි

CNN කාර්යාලයටත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එයි

by Sagarika Chathumali 24-10-2018 | 9:50 PM
News 1st : අමරිකාවේ නිව්යෝක් නුවර ටයිම් වෝනර් මධ්‍යස්ථානයේ පිහිටි CNN කාර්යාලයටත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ සමගම එහි කාර්ය මණ්ඩලය, ඉවත් කර ඇති බවයි. මේ වන විට ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව CNN පාලනාධිකාරිය සඳහන් කළේ ය. පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් පළමුව පැමිණ තිබුණේ අමරිකානු හිටපු ජනපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් යුවලගේ නිව්යෝක් නුවර පිහිටි නිවසටයි. පසුව වොෂින්ටන් අගනුවර පිහිටි අමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ නිවසට ද මෙවැනිම පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමරිකානු මූල්‍ය කේෂත්‍රයේ ප්‍රධානියෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවසට ද පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් යවා ඇතැයි පසුව අනාවරණය විය. තැපෑලෙන් ලැබුණු එම පාර්සල පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. මේ සම්බන්ධයෙන් අමරිකානු රහස් තොරතුරු ඒකකය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. හිටපු ජනපතිවරුන්ගේ නිවෙස්වලට මෙන්ම, CNN ආයතනයට පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් එවීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බව අමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.